වර්තමානයේ දී බොහෝ දරුවන් තුළ බුද්ධි වර්ධනය, මතක ශක්තිය අඩුකම දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් බොහෝ මව්පියන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්.
පාසල් අධ්‍යාපනය තුළ එදිනෙදා උගන්වන පාඩම් අමතක වීම් හේතුවෙන් පාසල් දරුවන් බොහොමයකට විභාග කඩඉම් සාර්ථකව පසුකර යාමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනව.
මේ නිසාම පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කරන මෙවන් දරුවෝ සමාජයේ විවිධ වැරදි ක්‍රියා මාර්ගයන්ට ද යොමුවන අවස්ථා අප කොතෙකුත් දැක තිබෙනව.
ආයුර්වේදයේ දී මතක ශක්තිය, බුද්ධි වර්ධනය ඇතිකරලීමට ඉතා සාර්ථක ප්‍රතිකාර පවතිනවා.
ආයුර්වේදය කියලා කියන්නේ ආයුෂ පිළිබඳ විද්‍යාව(Science of life) වසර දහස් ගණනක් තිස්සේ ඇතිවූ රෝගවලට ප්‍රතිකාර ලබාදීමෙනුත්, ඇතිවන්නාවූ රෝග වළක්වා ගැනීමට දායක වීමෙනුත් මිනිසාගෙන් කායික, මානසික, අධ්‍යාත්මික නිරෝගීතාවය උදෙසා සුවිශේෂී වූ දායකත්වයක් උසුලනු ලබනවා.
මෙහි ප්‍රධාන අංග අටක් අන්තර්ගත වන අතර එම අංග අටෙන් “කෞමාරභෘත්‍ය” හෙවත් “කුමාර තන්ත්‍රය” යටතේ ළමුන් හා ඔවුන්ගේ පෝෂණය, රෝගාබාධ, ඒවාට ප්‍රතිකාර ආදිය විස්තර කෙරෙනවා.
“චරක සංහිතාවට” අනුව බාල අවස්ථාව යනු ධාතු අපරිණත අවස්ථාව හෙවත් උපතේ සිට පළමු වසර දක්වා කාලයයි.
කුමාර අවදිය යනු පළමු වසරේ සිට වයස දහසය දක්වා වූ කාලයයි. දැයේ අනාගතය රඳාපවතින්නේ දරුවන් මත . කායික මානසික හා අධ්‍යාත්මික බවින් පිරිපුන් දරුවකු ලොවට දායාද කිරීම දෙමාපිය කාගෙත් ඇති එකම බලපොරොත්තුවයි.
මෙවැනි අරමුණු මුදුන්පත් කරගැනීමේදී දරුවාගේ මානසික තත්ත්වය, බුද්ධිය, මතකය ආදී කරුණු ද ඉතා වැදගත්.
ලොව සෑම මව්පියකුගේම අරමුණ තම දරුවා කායික, මානසික බවින් පිරිපුන් බුද්ධිමත් දරුවකු බිහිකිරීම.
ඒ සඳහා මවුපියන් විවිධ වෛද්‍ය කර්ම හා විද්‍යා දැනුම තුළින් බොහෝ කරුණු කාරණා අනුගමනය කරන බැව් අපිට පෙනෙන්නට තියෙනවා.
විශේෂයෙන් ආයුර්වේදයේ දරුවන්ගේ බුද්ධිය, මතකය, සිහිය වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ යුතු විවිධ ක්‍රියාකර්ම සඳහන් වනවා.
දරුවකුගේ බුද්ධිය වර්ධනය වීම සඳහා අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ආරම්භ කරනුයේ දරුවා කුස තුළ සිටියදී මයි.
විශේෂයෙන් ගර්භයේ සයවැනි මාසයේ දී ගර්භයේ බලය, වර්ණය හා බීජය වර්ධනය වනවා.
එසේම බුද්ධි වර්ධනය මෙකල සිදුවන බව ද ආයුර්වේදයේ සදහන්.එම නිසා ගර්භනී කාලයේදී ම දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ආහාරපාන, ඖෂධ ගැබිණිය විසින් ලබාගත යුතුයි.
විශේෂයෙන් සතුන්ගේ කිරි වර්ග, ගොටුකොළ, හාතවාරිය, ලුණුවිල ආදී බුද්ධිවර්ධක ඖෂධ මව විසින් ලබාගත යුතුයි. ආයුර්වේදයේ ගර්භනී පරිචර්යා යටතේ ඒවා විස්තර කර තිබෙනවා.
දරුවකු මෙලොවට බිහිවූ මොහොතේ සිට දරුවාගේ බුද්ධි වර්ධනය පිණිස ආයුර්වේදයේ අවධානය යොමුකර තිබෙනවා. එනම්, බුද්ධිය හා නුවණින් යුතු දරුවකු බිහිකරන්නට ආයුර්වේදය තුළින් ලැබෙන්නේ විශාල පිටිවහලක්.
ආයුර්වේදයට අනුව දරුවා මව්කුසින් බිහිවීමෙන් පසුව දරුවා පිරිසුදු කර, විෂබීජවලින් ආරක්ෂා කිරීමට “රක්ෂා කර්ම” සිදුකර දරුවාගේ පෝෂණය ගැන අවධානය යොමුකළ යුතුයි.
එසේම ගිතෙල් මගින් ද ස්වර්ණ භෂ්ටවලින් බුද්ධිය, සිහිය දියුණු කරනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඉපදුණු විගස ස්වර්ණ ප්‍රාශක සවස්කාරය මගින් දරුවාගේ බුද්ධිය පිළිබඳව අවධානය යොමුකර තිබෙන බව අපට පෙනෙනව.
මව්කිරි ද දරුවාගේ බුද්ධිය වර්ධනය කරන ඉතා හොඳ ආහාරයක් .
ආයුර්වේදයට අනුව මව්කිරි දරුවාට ප්‍රාණය හා සමාන ගුණයක් ලබාදෙනවා.
ඒ මගින් බුද්ධිය ද ලබාදෙනවා. මව්කිරි නොමැති කල එළුකිරි, එළකිරි, ඔටුකිරි, මීකිරි ආදී කිරි වර්ග අටක් නිර්දේශ කර තිබෙනව.
එළකිරි මගින් ද බුද්ධිය හා මතකය ලබාදෙන බව ආයුර්වේදයේ සඳහන්.
මව්කිරි නොමැති වූ විට දරුවාට ලබාදිය යුත්තේ එළුකිරියි. නමුත් එළුකිරි නොමැති විට එළකිරි හෝ මීකිරි නිර්දේශ කර තිබෙනව. ඒවායින් ද බුද්ධිය වර්ධනය වනවා.
එළඟිතෙල් බුද්ධිය වර්ධනය කරවන බව ආයුර්වේදයේ සඳහන් වේ.
ලුණුවිල දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරවන ප්‍රබල ඔසුවක්.
මතකය වඩවන ඔසුවක්.රසායන ගුණය ඇති සේම මානසික ආතතිය දුරු කරනව.
නවීන පර්යේෂණවලට අනුව ද දරුවන්ගේ බුද්ධිය වඩවන බව සොයාගෙන තිබෙනව .
ලුණුවිල තම්බාදීමෙන් ද, අමුවෙන්ම පිරිසුදු කර සලාද ලෙස ද, සිරප් ලෙසද ගත හැකියි. එළඟිතෙල් සමඟ හෝ මී පැණි සමඟ මිශ්‍රකර ගැනීම ද කළ හැකියි.
ගොටුකොළ ද ලොව හොඳම බුද්ධිවර්ධක ඔසුවක් .
බුද්ධිය මතකය වඩවනවා . මානසික ආතතිය දුරුකරනවා.කොළ කැඳ, සලාද ආදී ලෙස දරුවන්ට දිය හැකියි . ගොටුකොළ එළකිරි සමඟ දීමෙන් බුද්ධිවර්ධක ගුණය වඩවනවා
හාතවාරිය ද බුද්ධිය, නුවණ වඩවන ඖෂධයක්. මෙය කොළ කැඳ ලෙසින් බීමට ගත හැකියි. එමෙන්ම හාතවාරිය එළඟිතෙල් හෝ මී පැණි සමඟ ද දරුවාට දිය හැකියි.
අරළු ද බුද්ධිවර්ධක ඖෂධයක් . ත්‍රිපලා ලෙස මෙය දිය හැකියි.
වදකහ ඉතා කුඩා මාත්‍රාවක් මී පැණි සමඟ දරුවාට දෙන්න.
එමෙන්ම මුරුංගා ද කොළ කැඳ, සලාද කොළ ව්‍යංජනයක් ලෙසින් දීමෙන් බුද්ධිය වර්ධනය වෙයි.
ගිතෙල්ද බුද්ධිවර්ධකයක්. කුඩා දරුවන්ගේ බත ගිතෙල් සමඟ තෙම්පරාදු කර කෑමට දෙන්න.
එමෙන්ම පළතුරක් ලෙසින් අලිගැට පේර ද බුද්ධිවර්ධනයට, මතක ශක්තිය ඇති කිරීමට ඉතා ගුණදායකයි.
එමෙන්ම චීස්, බටර්, මාගරින් වැනි මේදමය ආහාර වරින්වර කෑමට එක් කිරීමෙන් බුද්ධිය වර්ධනය වේ. ගිතෙල්. පොල්තෙල්, තලතෙල්, ඔලිව්තෙල් වැනි තෙල්වලින් කෑම තෙම්පරාදු කරගත හැක. විටමින්, ඛනිජ ලවණ වැඩිපුර අඩංගු පළතුරු, එළවළු ආහාර වේලට එක්කරගන්න.
මේ අනුව ආයුර්වේදයට අනුව දරුවන්ගේ බුද්ධි වර්ධනය පිළිබඳ මව ගැබිණි සමයේ සිටම අවධානය යොමුකර තිබෙන බව අපට පෙනෙනවා. ආයුර්වේදයට අනුව දරුවාගේ මතක ශක්තිය ඇතිකරලීමට අවශ්‍ය ඖෂධ බොහොමයක් ආයුර්වේදයේ සඳහන්. නමුත් එවැනි ඖෂධ ආයුර්වේද වෛද්‍ය උපදෙස්වලින් තොරව ලබාදීමෙන් වළකින්න.
උපුටාගැනීමකි